ලෙඩ්ඩුයි වෙද්දුයි
“මලයා ….. අප්පච්චිට අද උදේ පොඩි පපුවෙ අමාරුවක්….”
අයියා මට මෙහෙම කිව්වේ සඳුදා උදේ හතට විතර. මම දන්නවා මාමා තමංගෙ ඕන ලෙඩක් හංගන්න හදන බව. මීට ඉස්සර සැරයක් ඔහොම අමාරුවක් වෙලා පහුවදා දවල් පුටුවෙන් වැටෙනකම් කවුරුත් දන්නෙ නෑ.
“දැන් හුඟක් වෙලාද අමාරුව පටන්ගෙන?”
“අම්මා මට කිව්වේ උදේ ඇඳෙන් නැගිටපු ගමන් ආයෙත් පපුව අල්ලාගෙන ඇලවුනාලු - කවදාවත් නැතුව …. මොකද මලයා කරන්න හොඳ?... මට වැඩිය හොඳට මේවා උඹට තේරෙනවා….”
මට ඇහුනේ අනාතවී උදව් ඉල්ලන්නෙකුගෙ කට හඬක්. මට පව් කියලා හිතුනා - අයියා කොච්චර උත්සාහ කරත් මාම නැන්දගෙ ඕනකම් සපුරලා පලපුරුද්දක් අයියට නෑ. පසුගිය අවුරුදු තිහේ ඒ දෙන්නට ලෙඩක් දුකක් වුනොත් ඉස්සරවෙලාම කතාකරේ ගාල්ලේ හිටිය තමාගෙම පුතාට නෙවෙයි කිට්ටුවෙන් මහනුවර ඉන්න මටයි. ලොකු ලෙඩක් එහෙමනම් අයියලාට ආරංචිය දුන්නෙත් මමයි.
“අයියට දැන් මේකයි කරන්න තියෙන්නේ…. මාමයි නැන්දයි ලෑස්ති කරගන්න නුවර එන්න. ඕන නම් මම මාමට කතා කරන්නම් හැබැයි මං හිතන්නේ නෑ ඕන වෙයි කියලා. මාමට කියන්න මම දොස්තර පරමසිවම්ට කතා කරලා ඉස්පිරිතාලෙට ගෙන්නා ගන්නවා කියලා. තව විනාඩි පහලවක් යන්න ඉස්සර අල්විස් කඩේ කාරෙක එයි ඔය තුන්දෙනාටම එන්න. මුදලාලිගෙ කාරෙක නැත්තම් වෙන එකක් එවන්න කියනවා…. ආයෙ… නැන්දට දවස් කීපයක් අපෙ ගෙදර ඉන්න ලෑස්තිවෙන්න කියන්න. …. කුස්සි අම්මයි ගුනාපාලයි ගැන එක එක කියයි - එතකොට හවසට අයියා නැත්තම් නිලංත ගෙදර යනවා කිව්වොත් හරි… ඩ්රයිවර්ට කියන්න කෙලින්ම ඉස්පිරිතාලෙට එන්න කියලා - මම එතන ඉන්නවා… දැන් අයියත් ලෑස්ති වුනොත් හොඳයි - නුවරදී කතා කරගන්න බැරියෑ?”
මම වහාම දොස්තරගෙ ගෙදරට කතා කරා. මාමට කාලයක් වෙදකම් කල පරමසිවම් අපිත් එක්ක බොහොම හොඳයි.
“ගුඩ් මෝනිං පරම් - මේ අජිත් හේරත් … සොරි උදේම ගෙදරට කතා කෙරුවට ….. අපෙ මාමට පපුවේ අමාරුවක් වෙලා අද උදේ ඉස්පිරිතාලෙට ගේනවා …. පරම් ඒ පැත්තේ එවෙයිද?.... හරි … තෑන්ක්යු…”
මම දැනගෙන හිටියා අල්විස් මුදලාලී වගේ නෙවෙයි, පරම් එක්ක කතාවට වැඩි වෙලාවක් නොයන බව. පරම් උදේ ඉස්පිරිතාලෙට එන්න පොරොංදුවීම ගැන මට සංතෝසයි. ඊලඟට මම අල්විස් මුදලාලිටත් කතාකරලා වාහනේ ඕඩර් කරලා ඉවරවෙලයි මගෙ පවුලේ අනික් අයට ප්රවුර්තිය දුන්නේ.
“දුව බලනවද අත්තලාටයි ලොකු අප්පච්චිටයි ඉන්න කාමර ලෑස්තිකරන්න? මම බලන්නම් කෑම බීම ගැන… කීයටද ඔයා ඉස්පිරිතාලේ යන්නේ?”
කමලා වහාම කෑම බීම නිදාගැනීම වැනි ප්රශ්න ගැන මිස මාමගෙ තත්වේ ගැන ඇහුවෙ නැත්තේ දොස්තර හමුවෙනතුරු වැඩිපුර විස්තර මා නොදත් නිසත් දරුවෝ දෙන්නා එතන සිටි නිසත් කියලා මට හිතුනේ.
“ඒගොල්ල එනකොට තව පැය එක හමාරක් වත් යයි… ලොක්කා එනවද මාත් එක්ක ඉස්පිරිතාලෙට, ලෙක්චර් නැත්තම්? මාමා ඇඩ්මිට් කෙරුවයින් පස්සේ අයියයි මමයි එහෙ ටිකක් වෙලා ඉඳියි… පුතාට පුළුවන් අත්තම්මා එක්ක ගෙදර එන්න …. ඕන ඔට්ටුවක් උදේට මොනවත් කාලත් නැතුව ඇති… අපිට පුළුවන් යන ගමන් දුව ඉස්කෝලේ දාගෙන යන්න, කමලට පුළුවන්නම් කාමර වැඩේ බලන්න….”
මම කතා කරන ගමන් ආයෙ කරන්නේ මොනවද කියලා හිතුවා.
“… ආ… අයියා සමහරවිට හවස්වෙලා ගෙදර යයි…. සමහරවිට…”
“මට පුළුවන් අප්පච්චී ලොකුඅත්තත් එක්ක රෑ ඉන්න.”
“ඒක හොඳයි…. අපි දෙන්නට පුළුවන් දවසෙන් දවස නවතින්න…”
ඒ වෙලාවේ අපෙ පවුල වැඩකලේ හරියට හොඳින් දුවන ඇන්ජිමක් වගේ කියලා මට හිතුනා.
………………..
“මොකද්ද මේ කරදරේ නැගිටින්න වත් නැතුව … මට වෙනදට වැඩිය ඇති අමාරුවක් නෑ!”
වචන සැර වුනත් කථා විලාසය දුර්වලයි. මාමට හරිම අමාරුයි එහාට මෙහාට ඇවිදින්න බැරි එක - දොස්තර කිව්වේ ඇඳෙන් නැගිටින්නවත් එපා කියලා. මූත්රා කිරීමටත් පෝච්චියක් ලැබීම හරි මදිකම හැටියටයි මාමා දැක්කේ.
“ඒක වෙන්න ඇති මාමට පැය දෙකෙන් දෙකට ප්රෙශර් මැනලා බ්ලඩ් ටෙස්ට් එහෙමත් කරන්නේ!”
මාමා අයියා දිහා බලලා දුබල හිනාවක් පෙන්නුවා.
“උඹලටනේ කරදරේ… අම්මා කෝ?”
“නිලංත එක්ක මල්ලිලෑ ගෙදර ගියා”
“ඒක හොඳයි… උඹලත් ගියාට කමක් නෑ … ආයෙ මට බෙහෙත් පොවන්නද ඉඳලා!”
“දොස්තර ආවැයින් පස්සේ මල්ලී යයි - මම ඉන්නවා දවල් වරුවේ”
“එහෙනං මොකවත් කාලා ආවනම් නරකද?”
“ඒක ඇත්ත අයියා - මම පරමසිවම් ආවම තමා යන්නේ; තව පැයක් දෙකක් යයි… එතකොට නිලංතත් ඇවිත් ඉඳී”
අයියා හෙමින් හෙමින් වටපිට බල බල කැන්ටිම පැත්තට ගියේ පාර වැරදුන කෙනෙක් වටපිටාව විපරම් කරනවා වගේ.
“ඉතින් මාමා… ගිය සැරේ වගේමද වේදනාව?”
මාමා ටිකක් වෙලා හිතුවා.
“මේ සැරේ ඒ තරම්ම නරක නෑ - හැබැයි ගියසැරේ වගේ ඉක්මනට අඩුවෙන්නෙත් නෑ”
“බලමුකෝ ටෙස්ට් වලින් කියන්නේ මොකද කියලා… පරම්ගෙන් අහලා බලමු. දැන් ටිකක් නිදාගත්තොත්?”
“මේ උදේ?”
එහෙම කිව්වට මාමා ඇස්දෙක වහගත්තා. මට පෙනුන විදිහට නින්ද ඒ තරම් දුර වෙන්න බෑ. පරමසිවම් නර්ස් නෝනා කෙනෙකුත් එක්ක එතෙන්ට එනකොට මාමට හොඳටම නින්ද ගිහින්.
“හලෝ මිස්ට හේරත්… මාමා නිදි වගේ?”
“ඔවු ඩොක්ටර් පරමසිවම්, දැන් නින්ද ගියේ”
නර්ස් කෙනෙක් ඉස්සරහ “අජිත්” / “පරම්” කියලා දෙන්නා ආමංත්රනය නොකරන්න අපි පුරුදුවුනේ මාමා ගියසැරේ ඉස්පිරිතාලේ හිටපු කාලේ.
“මිස් විජේකෝන් බ්ලඩ් ටෙස්ට් එහෙම කරනවද මම මිස්ට හේරත් එක්ක එලියට ගිහින් කතා කරනකම්?”
අපි දෙන්නා එලියට ආවේ නර්ස් එයාගෙ රාජකාරි පටන්ගත්තට පස්සේ.
“මොකද පරම් කියන්නේ? කොහොමද මාමට?”
“දැන් ටිකක් රෙස්ට් කරපුවැයි. ටෙස්ට් රිසල්ට්ස් එහෙම ආවම බලමු. මම තුනට ස්කෑන් එකක් සෙට් කරලා තියෙන්නේ… ඒවගෙ රිසල්ට්ස් එහෙම බලලා හෙට උදේ කතා කරමුද? මම රෑත් ඩියුටි ඩොක්ටට කතා කරලා බලනවා”
“තෑන්ක්යූ පරම්”
“වට් තෑන්ක්යූ? අජිත්ලා මට කොච්චර හෙල්ප් කරලා තියෙනවද? … අද මාමා එක්ක ඉන්නවද?”
“මාමගෙ පුතා, සුනිල් අයියා තමා දවල් ඉන්නේ - දැන් මොකවත් කාලා එන්න කැන්ටිමට ගියා. අයියා හුඟාක් කල් ගාල්ලේ වැඩකරලා දැන් රිටයර් වෙලා මාමලත් එක්ක ගමේ ඉන්නේ. රෑට මම හරි පුතා හරි ඉන්නවා”
“මං අයියා හම්බවෙලා නෑ නේද? ඕනනම් මගෙ මෝබයිල් නම්බර් එක එයාට දුන්නට කමක් නෑ”
“එහෙනම් අපි හෙට උදේ කතා කරමු”
“ඕකේ”
මම ආපහු මාමගෙ ඇඳ ලඟට යනකොට නර්ස් වැඩ ඉවරකරලා ගිහින්. මාමා ආයෙත් නිදි. මම පුටුවක් ඇඳ ලඟට ඇදගෙන වාඩිවුනා අයියා එනතුරු ඉන්න.
අයියා ආවේ නිලංතත් එක්ක. නිලංත අයියටයි මාමටයි කෑමත් ගෙනත්.
“අප්පච්චී ගෙදර යනවා නේද කෑමට?”
“එහෙම තමා හිතුවේ… නැන්දා කොහොමද?”
“ජනලයක් ලඟ වාඩිවෙලා එලිය බලාගෙන ඉන්නවා - වැඩිය කතාවක් නෑ”
“හවස එක්ක එමු… පුතා ගෙදර එනවද?”
“ලොකු අප්පච්චිට මාව ඕන නැත්තම් මම යුනිවසිටි ගිහින් එන්නද?”
“පුතා ගියාට මොකද. මම ඉන්නවා රෑ වෙනකම්. හැබැයි අම්මත් ඉස්පිරිතාලේ ආවට පස්සේ මම අටේ බස් එකේ ගෙදර ගිහින් හෙට උදේ එනවා”
“අයියා මට කෝල් එකක් දෙන්න ඕන වෙලාවක… මම නිලංතත් ඩ්රොප් කරගෙන ගිහින් හවස එනවා නැන්දත් එක්ක… ආ … අමතක වෙන්නත් ගියා… මාමා ස්කෑන් එකකට බුක් කරලා තියෙන්නේ තුනට. දොස්තර කිව්වා අද රෑත් ඇවිත් මාමා බලනවා කියලා. ස්කෑන් රිසල්ට්ස් අනික් රිසල්ට්ස් එක්ක බලලා හෙට උදේ කියනවා කිව්වා තත්වේ…”
“මලයා ගෙදර ගිහින් මොකවත් කෑවොත් නරකද? අනික, අම්මා බලාගෙන ඇති”
අයියා කිව්වා වගේම නැන්දා ඉස්සරහ මිදුලේ මම කාරෙක නවත්තනකොට. කමලා දොර ලඟ, හරියට පැටව් බලාගන ඉන්න බැලලියක් වගේ. කවුරුත් ප්රශ්න අහන්න ඉස්සර මම කතාව පටන්ගත්තා.
“මං එනකොට මාමා නිදි. පරම් කිව්වේ ඒක හොඳ ලකුණක් කියලා. මං ඉන්න වෙලාවෙමයි පරම් ආවේ. මිනිහා මාමට තුනට ස්කෑන් එකක් බුක් කරලා. දැන් පැය දෙකෙන් දෙකට ප්රෙශර් එහෙම මැනලා ලේ ගන්නවා ටෙස්ට් කරන්න…. කරන්න ඕන හැම දේම කෙරෙනවා වෙලාවට. පරම් කිව්වේ හෙට උදේ ටෙස්ට් ඔක්කගෙමයි ස්කෑන් එකෙයි රිසල්ට්ස් බලලා මට කතා කරනවා කියලා… එතකොට තමා කරන්නේ මොකද කියලා තීරනේ කරන්න වෙන්නේ...”
“උඹලට බොහෝම පින් මාමා ඔහොම බලාගන්නවට… ලොක්කා දොස්තර පරමසිවම් මහත්තයාවත් දන්නෙ නෑ නේ. අනේ මන්දා…”
“අපි හවස යං ඉස්පිරිතාලේ… එතකොට අහගන්න පුළුවන් මාමා අපිට බැන බැන ඉන්න හැටි ඉස්පිරිතාලේ ගෙනාවට!”
“අනේ ඔව්වා ගනං ගන්ට එපා පුතා… කෝ නිලංත? කන්නෙත් නැතුව නේද ගියේ?”
“යුනිවසිටි ගියා… එහෙන් කයි… නැන්දා අපි හතරට විතර ඉස්පිරිතාලේ යමු. එතකන් කාලා බීලා ටිකක් ඇලවුනොත් හොඳයි නේද?”
කමලත් ඒකට අනුබල දුන්නා.
“ඒකනම් ඇත්ත. මහංසි මූනක් මාමට පෙන්නන එකත් හොඳනෑ නේ?”
“මගෙ මූනේ මොනවදෑ ආයෙ බලන්ට තියෙන්නේ දුව?”
නමුත් කෑමෙන් පස්සේ ටිකක් විවේක ගන්න නැන්දා එකඟවුනා.
……………….
අපි සේරම ඉස්පිරිතාලේ ගිහින් ආපහු එනකොට හය හමාරට විතර ඇති.
මාමා ඇඳේ හිටියේ බාගෙට නින්ද ගිහින් වගේ. වචන දෙක තුනක වැඩිය කතා කරේ නෑ. නැන්දා ඇඳ ලඟ පුටුවේ වාඩිවෙලා හිටියේ ඇස් දෙකේ කඳුලු පුරවාගෙනයි. කමලයි සිරිනියි එක එක්කෙනාගෙ අත් අල්ලාගෙන මාමා දිහා බලාගෙන හිටියේ සද්ද නැතුව. අයියත් වැඩිය මොනවත් එතෙන්දී කිව්වෙ නෑ. මාව එලියට එක්ක ගිහින් තමා පොඩ්ඩක්වත් මාමගෙ තත්වේ ගැන කතාකරේ.
“ස්කෑන් එකට ඉස්සර ගහපු ඉන්ජෙක්ශන් එකනම් හොඳට දැනුනා මං හිතන්නේ - ගැස්සිලා හිටියා. හැබැයි සකෑන් කරන වෙලාවේ නින්ද යන්ට ආවා කියලා නර්ස් කිව්වේ. මට පෙනෙන විදිහට දවල් තිබුන කඩිසර ගතිය දැන් නෑ - කතාවත් නැවති නැවතී”
“බ්ලඩ් ටෙස්ට් එහෙම දිගටම කෙරුනද?”
“ඔවු … ඒ අතින් කිසි අඩුවක් නෑ. මුලු දවසෙම අර රත්නායක නර්ස් නෝනා තමා ආවේ, පහට ශිෆ්ට් එක ඉවර වෙනකන්…”
“ඔය ටෙස්ට් එහෙමත් මහංසිය වැඩි කරනවා අයියා… අපි බලමුද කොහොමද කියලා පරම්ට කතා කරලා?”
“නෑ මලයා - දැන් අප්පච්චී ස්ටේබල් නිසා බලමු උදේට කොහොමද කියලා, දොස්තරට කරදර නොකර… හොඳ මෑන් නේද?”
“ඔවු. ඔය පරම් මීට ඉස්සරත් මාමට සාත්තු කරලා තියෙනවා”
“එහෙමද පොර හඳුනගත්තේ?”
“අපෝ නෑ… මිනිහා මං ඉස්සරත් දන්නවා අපෙ ගෙදර පාරේ හිටපු කාලේ. අර ගෝරි කාලේ අපිත් එක්කත් ටික දවසක් හිටියා… හොඳ එකා”
“මේ වාට්ටුවේ රෑටත් එහෙම දොස්තර කෙනෙක් ඉන්න්වානම් හොඳයි. දන්නවානේ මලයා උංගෙ සැර - හරියට ලෙඩ මිනිස්සුන්ට නෑදෑයෝ ඉන්න බව දන්නෙ නෑ වගේ! සමහර එවුන්ට අම්ම අප්පලත් ඉඳලා නෑ වගේ!”
මම අයියගෙ අත අල්ලාගත්තා.
“තරහ ගත්තා කියලා ඕවා වෙනස්වෙන්නෙ නෑ අයියා. මං දන්නවා සමහර දොස්තරයෝ මාරෙට ඇඳලා! හැබැයි අනික් අතට බැලුවොත්, දවසට පැය දොලහක් විතර වැඩකරන දොස්තරලත් මිනිස්සු නේ. සමහර ලෙඩ්ඩුයි නෑදෑයොයිත් මෙතන හැසිරෙන්නේ ලෝකේ අයිතිකාරයෝ වගේ - පඩියට වැඩකරන දොස්තරලටත් නිවිහැනිල්ලේ රස්සාව කරගන්න නොදී!”
“මලයත් තරගන්න එපා! අපි දෙන්නගෙන් එක්කෙනෙකුට තරහගියාම ඒ ඇති! සොරි මල්ලී - මට අප්පච්චී වෙනුවෙන් කිසි දෙයක් කරන්න බැරි නිසා කෑ ගැහුවේ…”
“මං දන්නවා අයියා. දැන් අපි හිනා මුහුනක් දාගෙන ඇතුලට යං. මම නැන්දා එහෙම එක්ක යනවා ගෙදර…. නැත්තං අයියා ඒ අය ඇරගෙන අපෙ ගෙදර යනවද? මට පුළුවන් රෑ ඉන්න”
“නෑ මලයා - මම තව ටිකක් වෙලා ඉන්නවා. ඔයාට හරි නිලංතට හරි එන්න බැරිවුනොත් රෑත් ඉන්නවා…”
“බලමු…”
අපි ඇතුලට යනකොට නිලංතත් ඇවිත්.
“මං රෑ ඉන්නවා අප්පච්චී… මගෙ යාළුවා ආරි කිව්වා කෑම එකකුයි සරමක් එහෙමයි අරගෙන එනවා කියලා අටට විතර. එයාගෙ ගමේ කෙනෙක් මේකේ වැඩ කරන නිසා එන යන එක අමාරු නෑ කිව්වා”
“එහෙනං මං උදේ එනවා - එතකොට කාරෙකත් අරං ගෙදර යන්න පුළුවන්. අයියා ගමේ ඉඳන් බස් එකේ එනකං මම ඉන්නවා; හදිස්සියක් නෑ අයියා - සමහරවිට පරම් හම්බවෙන්නත් පුළුවන් වෙයි”
……………………
මට නැන්දගෙ බෙරිහන්දීම ඇහුනේ හරියට රෑ දෙකයි කාලට.
කමලයි මමයි කරුවලේම දුවලා ගිහින් නැන්දගෙ කාමරේ ලයිට් එක දැම්මේ නැන්දා නරක හීනයක් දැකලා බය වෙන්න ඇති කියලා හිතාගෙන. ඇඳේ වාඩිවෙලා ඇස්පිය නොගහ ජනෙලේ දිහා බලාගෙන හිටිය නැන්දා අත් දෙකෙන්ම කොට්ටයක් තදින් මිරිකාගෙන හිටියේ කාගෙවත් බෙල්ල මිරිකනවා වගේ.
“මොකොද නැන්දා හීනයක් දැක්කද? ඇයි නිදි නැත්තේ?”
නැන්දා කිසිදෙයක් නොකියා අඩපණ හිනාවක් පෙන්වුවා. කමලා ඇඳේ වාඩිවෙලා මට ඇස් දෙකෙන් කිව්වා එලියට යන්න කියලා. මමත් කුස්සියට ගිහින් වතුර උනුවෙන්න දැම්මේ අපි සේරටම තේ එකක් ඕනවෙයි කියලා හිතාගෙනයි. නැන්දයි කමලයි කුස්සියට එනකොට මම තේ හදලත් ඉවරයි.
නැන්දා තේ උගුරක් බීලා කතාව පටන්ගත්තා.
“මට හොඳටම නින්ද ගිහින් හිටියේ …. මං දුවට කිව්වා වගේ, හීනෙන් දැක්කා අපෙ දොස්තර මහත්තයා. එයා කිව්වා මාමා ගැන දැන් බයවෙන්ට කාරනයක් නෑ; එයා බෙහෙතක් දුන්නා ලෙඩේ නිට්ටාවටම සුව කරන්ට! මං හිටියේ මාමගෙ ඇඳ ලඟ පුටුවේ වාඩිවෙලා - එහෙමයි දැනුනේ. කොහොම හරි එතන ජනේලෙන් එලිය බලලා මම දොස්තරට අත වැනුවා. එතකොට තව කවුදෝ ලොකූ මිනිහෙක් - වලහෙක් වගේ එකෙක්, පැනලා දොස්තර මහත්තයගෙ බෙල්ලෙන් අල්ලා ගත්තා. එතකොට මට ඇහැරුනා - කෑ ගහන්ට ඇත්තෙත් එතකොට. බලනකොට මම කාමරේ ඇඳේ ඉඳගෙන! ඒ කාමරේ ජනෙලෙන් එලිය බලාගෙන ඉන්නේ… අනේ මංදා මොන පිස්සුවක්ද කියලා”
කමලා කතා කරේ මම යමක් කියන්නත් ඉස්සර.
“ඔය හිතේ සාංකාවට දකින දේ නැන්දා… තේ එක බීලා නිදාගන්න බැලුවොත් හොඳයි. ඕන නම් මම ඇහැරලා ඉන්නවා නැන්දට නින්ද යනකම්”
“නෑ දුව… මම ඇඳට යනවා - දුවත් නිදාගන්ට”
කමලයි මමයි ඇඳට ගිහින් තව පැය බාගයක් විතර නැන්දගෙ හීනේ ගැන හිත හිතා හිටියා.
“පව් අප්පා …. නැන්දගෙ හිතට හොඳටම අමාරු ඇති ඔහොම හීන දකින්න…”
අපි දෙන්නටම අංතිමට හිතුනේ එහෙමයි. හැබැයි උදේ නැගිටලා මම තනියම ඉස්පිරිතාලෙට ගියේ රෑ කලබල අමතක කරලා දාලා.
“හා ඔය එන්නේ මහ එකා!”
මාමා ඇඳේ වාඩි වෙලා නිලංතත් එක්ක හිනාවෙවී කතා කර කරඉ න්නවා. ඊයේ නොතිබුන නවපණක් අද පෙනෙන්න තිබුනා.
“ලෙඩා අද ඔය ජොලියට ඉන්නේ! කොහොමද ඊයෙ රෑ - මාමට නින්ද ගියාද?”
“මොනවා කියනවද? අර එක එකා මාව ඇහැරෙව්වෙ නැත්තම් ලේ ගන්නයි බෙහෙත් බොන්නයි වගේ දේවලට මට ඇහැරෙන්නේ අද උදේ! හැබැයි පොඩි එකාට නින්දක් නැතුව ඇති”
“ප්රශ්නයක් නෑ ලොකු අත්තා…. මට කියවන්න තිබුන ඒවා හුඟක් ඉවරයි - තව දවසක් රෑ හිටියොත් වාරෙම වැඩ කියවගන්න පුළුවන්!”
“නිදාගත්තෙම නෑ? අද රෑ මම ඉන්නවා - අන්න අම්මා එහෙම බාලාගෙන ඉන්නවා ලොකුඅත්තගෙ තොරතුරු අහගන්න. ත්රීවීලර් එකක් අරගෙන ගියොත් හොඳයි; මට කාරෙක ඕනෑවෙයි”
“අද උඹලා කවුරුත් ඉන්න ඕන නෑ - මට ඇඟට කිසි අමාරුවක් නෑ!”
“මාමා අපි ඒක දොස්තරගෙන් අහගමු - උදේට මොනවද කෑවේ?”
………………………..
පරම් ආවේ රත්නායක නර්ස් නෝනත් එක්ක ඊයේ වගේම. හැබැයි දෙන්නා මොනවදෝ එකක් ගැන පොඩි සාකච්චාවක්, වාට්ටුවේ දොර ලඟ.
“මට සොයිසා නර්ස් කිව්වේ හරියට දෙකයි කාලට කියලා!”
“මම ආයෙත් කියන්නේ - ඒ වෙලාවට කවුරුත් ආවා කියලා ලියලා නෑ!”
“මාත් ඇහුවා ඒක ගැන… සොයිසා ලඟදී මෙහාට ආපු නිසා දොස්තරලා ඔක්කම දන්නෙ නෑ… මට කිව්වේ ඒ ආවේ සර් කියලා විස්වාසෙට ආයෙ ප්රශ්න ඇහුවෙත් නැතිළු”
“හ්ම්…”
පරම් මාමා දිහා බැලුවේ කල්පනාකාරී මුහුනකින්.
“අන්කල් කොහොමද දැන්?”
“දැන් හොඳයි ඩොක්ටර් - කිසි ඇඟේ අමාරුවක් නෑ!”
“නින්ද ගියා?”
“මේ නර්ස්ලයි දොස්තරලයි රෑ තිස්සේ ආවෙ නැත්තම් හොඳට නිදාගන්ට තිබුනා!”
මාමා හිනාවුනාට පරම් හිනාවුනේ නෑ.
“දොස්තර බෙහෙත් දුන්නද? රෑ?”
“එක සැරයයි… මොනවදෝ වීදුරුවක … වැඩිය තිත්ත නෑ. ඒක බීලා ආයෙ නිදාගත්තා”
“රයිට්… මිස් රත්නායක ප්රෙශර් චෙක් කරලා බ්ලඩ් සාම්පල් එකක් ගන්නවද? මම මිස්ට හේරත් එක්ක කතා කරනකම්?”
අපි දෙන්නා එලියට එනකොට මට හිතුනා පරම්ගෙ හිතේ මොකද්දෝ ප්රශ්නයක් තියෙනවා කියලා.
“මොකද පරම්, ප්රොබ්ලම් එකක්ද?”
පරම් ටිකක් හිතුවා.
“කවුද මෙහෙ ඊයෙ රෑ නැවතුනේ?”
“පුතා - නිලංත. ඇයි?”
“පොඩ්ඩක් එයාට කතා කරන්න පුළුවන්ද?”
“ශුවර් - හැබැයි නිදිද දන්නෙ නෑ; ඊයේ මුළු රෑම පාඩම් කරලා!”
නිලංතත් එක්ක කතා කරන්න පරම් තව යාර කීපයක් ඈතට ගියා. විනාඩි පහකින් විතර ආපහු ඇවිත් මට ටෙලිෆෝන් එක ආපහු දුන්නේ බරපතළ කල්පනාවක ඉන්න කෙනෙක් වගේ.
“අන්කල් මට හිතුවට වැඩිය හොඳයි… ඊයේ ටෙස්ට් වලට වැඩිය අද උදේ ටෙස්ට් හුඟක් හොඳයි…. හැබැයි ස්කෑන් එකේ රිසල්ට්ස් හැටියට ඔහොම ඉක්මනට සනීප වෙන්න… අපි කියමු ‘විස්වාස කරන්න අමාරුයි’ කියලා … අනික - රෑ නර්ස් කිව්වා ඊයෙ රෑ දෙකට විතර දොස්තර කෙනෙක් බෙහෙත් බොන්න දුන්නා කියලා …. අන්කලුත් කිව්වේ ඒකයි… නිලංත කිව්වා කිසි කෙනෙක් බෙහෙත් දුන්නෙ නෑ කියලා; එයා දිගටම ඇඳ ලඟ, ඇහැරලා…. අනික මෙතන රෙකෝඩ් එකක් නෑ ඩොක්ට කෙනෙක් ආවා කියලා…. තවත් එකක් - රෑ නර්ස් කිව්වළු ආපු ඩොක්ටර් මමයි කියලා!”
මට මතක්වුනා නැන්දා කියපු දේ.
“මාමා හීනයක් දැක්කද දන්නෙ නෑ, බෙහෙත් බිව්වා කියලා…? හැබැයි නර්ස්ගෙ කතාවට ඒක ෆිට් වෙන්නෙ නෑ…”
“හ්ම්… අයි සේ අජිත්… මට පෙනෙන විදිහට අන්කල්ට අමාරුවක් නෑ…. නමුත් මම තව ටෙස්ට් ටිකක් කරලා බලනවා - කමක් නැද්ද තව ස්කෑන් එකක් කරොත් අද? මට හෙට පුළුවන් වෙයි මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න… අඩුම ගානේ ගෙදර යන එක සේෆ් ද කියලා බලාගන්න…”
………………………
මම ඊයේ මාමයි නැන්දයි අයියයි ගමේ ගිහින් බැස්සුවා.
පරම් කියන විදිහට, පලවෙනි ස්කෑන් එකෙන් පෙන්වපු කැටිගැසුණු ලේ දෙවෙනි ස්කෑන් එකේ නෑ. අළුත් ටෙස්ට් සේරමත් පෙන්නුවේ, හෘද වස්තුවේ වයසට බලාපොරොත්තු වියහැකි ප්රශ්න ඇරුනුකොට, වෙන කිසිම ආබාධයක් නැති බවයි. ඒ ප්රතිපල පලවෙනි දවසේ ගත්ත ටෙස්ට් වල ප්රතිපල වලට වඩා සම්පූර්නෙන්ම වෙනස්. පාන්දර දෙකයි කාලට බීපු බෙහෙත් මොනවද කියලා ටෙස්ට් වලින් සොයාගන්න බැරිවුනා. නැත්නම් ඒක මාමගෙ හීනයක්ද? ඒ වෙලාවෙම නැන්දා හීනෙන් දුටුදේ එක්ක සම්බංදයක් තියෙන්න පුළුවන්ද?
මේ ප්රශ්න වලට තර්කානුකූල උත්තරය මා ලඟ නෑ. උත්තරයකට ටිකක්වත් ගෑවුනේ මාමා අයියට කී දෙයක් විතරයි.
“ලොක්කා අපි හෙට අර අට්ටික්කා ගහට මල් පැලක් තියන්ට ඕනෑ”